ASITHA G PUNCHIHEWA

Home

Unseen side of state sponsored beer promotion (Sinhala)

Posted by Asitha G Punchihewa on March 15, 2018 at 6:50 AM

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බියර් ප්‍රවර්ධනයේ නොපෙනෙන පැතිකඩ

 

අසිත ජී පුංචිහේවා

 

2000 ගණන් වල මධ්‍යයේ සිට පවතී සියලු රජයන් හි මත්ද්‍රව්‍ය පිටුදැකීම චිත්තාකර්ශනීය ප්‍රතිපත්තියක් විය. නමුත් පසුගිය දශකයකට අධික කාලයක් තුල යම් සාර්ථකත්වයක් වුව පාදාගෙන ඇත්තේ දුම්වැටි පිටුදැකීමට පමණකි. 2020දී ශ්‍රී ලංකාව තුල දුම්වැටි නිෂ්පාදනය, අලෙවිය, පරිහරණය තහනම් කිරීම ට දරන්නාවූ උත්සාහය ඇගයීමකට ලක්කළ යුතුමය. නමුත් මධ්‍යසාර, මත් කුඩු, මත් පෙති, ගංජා ආදිය ප්‍රවර්ධනය වන ස්වභාවයක් පැහැදිලිව පෙනී යයි.

එවක මතට තිත වැඩසටහන සාර්ථක එකක් වීම තබා මත්ද්‍රව්‍ය ආනයනය කරන්නන් මත ආණ්ඩුවේ පැවැත්ම පවා රඳා පවතින තත්ත්වයට පත්විය. අද යහ- පාලන තත්ත්ව යටතේ ද මත්ද්‍රව්‍ය විරෝධී ජනතා අභිලාශයනට එරෙහිව මහා පරිමාන සමාගම් හා ආයෝජකයින් දරන්නාවූ උත්සාහයන් අවතක්සේරුවකට ලක්නොකළ යුතුය. අපට ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ මාධ්‍ය විසින් පෙන්වාදෙනුයේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාතික දේශපාලනයේ සිටින විවිධ චරිත පමණකි. නමුත් එම ධුෂිත දේශපාලන චරිත උපායශීලිව හසුරුවන ගෝලීයව ක්‍රියාත්මකවන මහා පරිමාන සමාගම් පිළිබඳව අවබෝධය අල්පය. එම අනවබෝධය හා නොදැනුවත්කම ද මහා පරිමාන බහු ජාතික සමාගම් විසින් වෙළෙඳපොළ පුළුල් කිරීම් වෙනුවෙන් දරන්නාවූ උපායෙහි ම කොටසකි.

බහු ජාතික සමාගම් වල බලපෑම කොතෙක් ද යත් රටේ කෘෂිකර්මය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති ගොඩනැගෙන වටමේසයන්හි කෘෂි රසායන සමාගම්වල නියෝජිතයින්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ගොඩනැගෙන වටමේසයන්හි ඖෂධ සමාගම්වල නියෝජිතයින්, අධ්‍යාපන ප්‍රතිපත්ති ගොඩනැගෙන වටමේසයන්හි පෞද්ගලික අධ්‍යාපන ආයෝජකයින් වන්නා සේම රටේ මත්ද්‍රව්‍ය පිලිබඳ ජාතික ප්‍රතිපත්ති සැදීමේදී ද එම වටමේසයන්හි මත්රව්‍ය සමාගම්වල නියෝජිතයින් හා තැරැව්කරුවන් ද වේ. එනිසා මත්ද්‍රව්‍ය පිලිබඳ ජාතික සැලැස්ම ද කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්ෂේත්‍රහි ජාතික සැලසුම් හා සමානව ජනතාවාදී එකක් නොවී සමාගම්වාදී වීම අරුමයක් නොවේ. අතිගරු ජනාධිපතිවරුන් මහා අභිමානයෙන් යුතුව වේදිකාවන්හි ගිරිය පුප්පා කෑ මොරසන් දුන්නද එම සමාගම්වාදී ප්‍රතිපත්ති අධිවේගීව ඉදිරියට ඇදෙමින් පවතියි. අයවැය ප්‍රකාශනයේ මධ්‍යසාර මිල පහල හෙලීම ජනතාව විසින් පිළිකුලින් යුතුව දුටුවත් එම සමාගම්වලින් වරප්‍රසාද ලබන දේශපාලකයින්ටත් බනිමින් අඩියක් ගසන නූගත් බේබද්දන්ටත් මිහිරිය.

මත්පැන් මිල අඩු කිරීම පිලිබඳ රජයේ තර්කය වුයේ අඩු මිල බියර් නිසා කසිප්පු භාවිතය අඩු වනුඇති බවය. කිසිදු විද්‍යාත්මක දත්තයක්, සමීක්ෂණයක් මත පාදක නොවූ එම තර්කය නූගත් දේශපාලකයින්ට ද අනුවන බේබද්දන් ට ද රිසි උපකල්පනයක් වුව යම් බුද්ධි මට්ටමක් සහිත අයෙකුට හාස්‍යයකට වඩා පිළිකුලකි. එවැනි අමාත්‍ය මණ්ඩලයක නායකත්වය දරන නීල හරිත සුසංයෝගය පිළිකුලට වඩා හාස්‍යයකි.

මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරවීමට පන්නරය සපයන විද්යානුකුල යයි කියන්නාවූ සමීක්ෂණ, පරීක්ෂණ දත්තයන් ද නිමැවෙනුයේ මත්ද්‍රව්‍ය සමාගම් හි ආයෝජනයන් මතිනි. එය එතරම්ම සංකීර්ණව ගෙත්තම්කල මහා පරිමාන වැඩසටහනක කොටසකි.

2014 ඔක්තෝබර් 15දා වොෂින්ටන් නුවර “මධ්‍යසාර ප්‍රතිපත්ති සඳහාවූ අන්තර්ජාතික කේන්ද්‍රය” (international Centre for Alcohol Policy (ICAP)) හා “ගෝලීය මධ්‍යසාර නිෂ්පාදන කාණ්ඩය” (Global Alcohol Production Group (GAPG)) එක්ව සිදුකල වැඩමුළුවේදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ ඈන් කීලින්ග් ඒ ICAP-GAPG සුසංයෝගයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන බවට. එම සුසංයෝගයේ නව නාමය ලෙස ප්‍රකාශයට පත් කරෙන්නේ අන්තර්ජාතික වගකීම් සහිතව බීමේ සංසදය international alliance for responsible drinking (IARD) යනුවෙනි. එහි අභිමතාර්ථ අතර පර්යේෂණ, වැඩසටහන්, වැඩමුළු, නීති සඳහා බලපෑම් කිරීම ලොව පුරා සිදුකිරීම තුලින් අහිතකර මත්පැන් අවම කිරීම හා වගකීමෙන් යුතු බීම (යහ බීම) ප්‍රවර්ධනය කරන බවයි. ඔවුන්ගේ සිව් වැදෑරුම් ඉලක්කයන් නම්

1. 2020 වනවිට අහිතකර මත්ද්‍රව්‍ය භාවිතය 10%න් අඩු කිරීම

2. 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයෙන් මත්පැන් සම්බන්ධ සමාජ සම්මත බිඳ වැට්ටීම

3. අඩු/අවම මධ්‍යසාර සහිත මත්පැන් මුළු මත්පැන් පානයෙන් 20% දක්වා වැඩි කිරීම

4. 2020 වනවිට බියර් සඳහා ලේබලයක් ගැසීම හා 2025 වනවිට මධ්‍යසාර පිලිබඳ දැනුවත්බව ප්‍රවර්ධනය කිරීම

1980- 2014 කාලයතුල ගෝලීය මධ්‍යසාර නිෂ්පාදන සමාගම් 27 සිට 8ක් දක්වා අඩු වී ඇත. බැලු බැල්මට මෙය හොඳ ප්‍රවනතාවයක් වුවත් ඇත්තෙන්ම සිදුවී ඇත්තේ සමාගම් එක්වී වඩා සැලසුම්සහගත සහ උපායශීලි සංවිධාන ලෙස ගොඩනැගීමය.

එම සැලසුම්ගත ස්වභාවය පසක් කරමින් අප්‍රිකානු රටවල් බොහොමයක මධ්‍යසාර පිලිබඳ ජාතික ප්‍රතිපත්තිවල “The government will encourage active participation by all levels of the beverage alcohol industry as a key partner in the policy formulation and implementation process” (ප්‍රතිපත්ති සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී රජය මධ්‍යසාර කර්මාන්තයේ සෑම අංශයකම සිටින්නවුන්ගේ සක්‍රිය දායකත්වය ලබාගනු ඇත) යන වැකිය අන්තර්ගත කොට ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන මධ්‍යසාර ප්‍රවර්ධන වැඩසටහන්වල දිශානතිය ද අප්‍රිකාවේ සිදුවූ ක්‍රියාදාමයට නොවෙනස් එකකි. මතට තිත තැබීමට ජන්දය දුන් ජනතා විරෝධී ආණ්ඩුව තිතට මත රජ කෙරවූ නිසා ජන්දය ලබා දුන්නේ යහ පාලනයටය. දැන් ඔවුන් සාර්ථකව වහ පානය කරවමින් සිටියි.

අපට නොපෙනෙන මානයක සිටින්නාවූ බලවතුන විසින් සූක්ෂමව මෙහෙයවෙන අප රටේම ඉපිද හැදී වැඩී, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය භුක්ති විඳ අප රටට වින කරමින් තම පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන විදේශ සමාගම් පෝෂණය කරන ප්‍රභූන් යයි හඳුන්වාගන්නා පිරිස් අප හඳුනාගත යුතුය. ඔවුන් ජාතික දේශපාලනයෙන් නොව ප්‍රාදේශීය දේශපාලනයෙනුත් නෙරපා හැර ඔවුන්ට සුදුසු ස්ථානය ලබාදිය යුතුය. මේ වෙනුවෙන් බුද්ධිමත් ජනතාව පෙළගැසී සක්‍රියව හඬ නැගිය යුතුය.

Categories: None

Post a Comment

Oops!

Oops, you forgot something.

Oops!

The words you entered did not match the given text. Please try again.

Already a member? Sign In

0 Comments